රොකට් තාක්ෂණ ඉතිහාසය (History of Rocket Technology)

රොකට් තාක්ෂණ ඉතිහාසය (History of Rocket Technology)

රොකට් තාක්ෂණය කියන්නේ මානව සංහතියේ විශිෂ්ටතම සොයා ගැනීමක් .මෙය අද ඊයේ සොයා ගත් දෙයක් නොවේ . රොකට් තාක්ෂණයේ ඉතිහාසය ශතවර්ෂ ගණනාවක් ඈතට දිව යනවා . ඉතින් ඒ පිළිබඳව පුංචි දැනුමක් ඔයාලට ලබා දෙන්නයි මේ ලිපිය ගෙන එන්නේ.

ලංකාවේ ඉතිහාසයට අනුව රාවණා රජුගේ කාලයේත් පිටසක්වල සමඟ සබඳතා පවත්වා තියෙනවා . එහිදී විවිධ අභ්‍යවකාශ යානා යොදාගෙන ඇති බවට පුරාවෘත්ත සාක්ෂි දරනවා. කෙසේ වෙතත් නාසා ආයතනයේ පළවූ ලිපියකට අනුව රොකට් තාක්ෂණික මූලධර්ම මුල් වරට සාර්ථකව අත්හදා බැලූ බවට ලිඛිතව තොරතුරු මතු වන්නේ ක්‍රිස්තු පූර්ව 400 දී ය . ග්‍රීක් ජාතික ආර්කිටස් (Archytas) නම් දාර්ශනිකයා ලණු මගින් සම්බන්ධ කරන ලද පරවියෙකුගේ ආකෘතියක් වාෂ්ප මගින් පියාසර කිරීමට සලස්වා තිබෙනවා

මීට වසර 300ක පමණ පසු ඇලෙක්සැන්ඩ්‍රියාවේ හීරෝ නම් පුද්ගලයා ‘ aeolipile’ නම් උපාංගයක් වැඩිදියුණු කර තිබෙනවා . මෙහිදී උපාංගයේ ඇති ගෝලාකාර කොටසක් හුමාලය භාවිතයෙන් භ්‍රමණය කිරීමට සමත් වී තිබෙනවා.

Aeolipile

ප්‍රථම වතාවට රොකට් නිර්මාණය පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ චීනයෙන්. ඒ වෙඩි බෙහෙත් සොයා ගැනීමත් සමඟය. දහතුන්වන සියවසේදී චීන ජාතිකයන් විසින් එක් කෙළවරක් වසනලද නළයකට වෙඩිබෙහෙත් පුරවා අහස් වෙඩිල්ලක් නිපදවා තිබෙනවා. පසුව මෙය වැඩි දියුණු කර යුධ කටයුතු සඳහාද යොදාගෙන තිබෙනවා.

දාහත්වන සියවසේ අග භාගයේ දී බ්‍රිතාන්‍ය ජාතික අයිසැක් නිව්ටන් විසින් චලිතය පිළිබදව නිව්ටන් නියම හදුන්වාදීම, රොකට් තාක්ෂණයේ විශාල පෙරළියක් කිරීමට සමත් වනවා.

නමුත් අවාසනාවකට මෙන් 18,19 වන සියවස් වන විට රොකට් තාක්ෂණය යුධ කටයුතු සදහා ගැනීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. එහිදී බ්‍රිතාන්‍ය ජාතික විලියම් කොන්ග්‍රීව්, රොකට්ටුව යුධ අවියක් ලෙස වැඩි දියුණු කොට තිබෙනවා. 1850 දී විලියම් හේල් විසින් හඳුන්වාදුන් දුන් ‘spin stabilization’ මූලධර්මය මඟින් භ්‍රමණය මගින් රොකටයට වැඩි නිරවද්‍යතාවක් ලබා දීමට සමත් වී තිබෙනවා.

දහනමවන සියවස අග භාගය වන විට මෙම රොකට්ටු අභ්‍යවකාශ ගවේෂණය සඳහා යොදාගත හැකි බව මිනිසාට අවබෝධ වුණා. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ රුසියානු ජාතික පාසල් ගුරුවරයෙකු වූ කොන්ස්තන්තීන් සියොල්කොව්ස්කි. එහිදී ඝන ප්‍රචාරණ වෙනුවට ද්‍රව ඉන්ධන භාවිතා කරමින් රොකටයේ වේගය බොහෝ සෙයින් වැඩි කර ගත හැකි බව ඔහු ප්‍රායෝගිකව පෙන්වා දුන්නා. කෙසේ වෙතත් ඔහු බිහිරි පුද්ගලයකු බව ඇසූ ඇසුවොත් ඔබ පුදුම වෙවී!!

ඝන ඉන්ධන වෙනුවට ද්‍රව ඉන්ධන යොදා ගැනීම අසීරු කරුණක් වුණා. මෙයට හේතුව රොකටයේ ඉන්ධන හා ද්‍රව ඔක්සිජන් ටැංකි, ටර්බයින මෙන්ම දහන කුටීර ද ඇතුළත් කළ යුතු වූ නිසාය. නමුත් 1926 දී ඇමරිකානු ජාතික රොබට් එච්. ගොඩාඩ් විසින් ප්‍රථම ද්‍රව ඉන්ධන ‍රොකටය ගුවන් ගත කළා. නමුත් එයට ලගාවිය හැකි වූයේ මීටර් 12.5ක් පමණකි.
නමුත් නූතන රොකට් තාක්ෂණය සන්ධිස්ථානයක් ලෙස මෙය සලකන්න පුළුවන්.

පසුව ජර්මනියේ ආචාර්ය වර්නන් වොන් බ්‍රෝන් විසින් V-2 නම් රොකට්ටු නිර්මාණය කළා. මෙහිදී ද්‍රව ඔක්සිජන් හා මධ්‍යසාර මිශ්‍රණයක් භාවිතයෙන් විශාල තෙරපුමක් ලබා ගැනීමට ඔවුන් සමත් වුණා. වත්මන් රොකට් මිසයිල හා අභ්‍යවකාශ රොකට්ටුවල පැරැණිතම මුතුන් මිත්තා ලෙස V-2 සලකන්න පුළුවන්.

V-2 Rocket

රොකට් තාක්ෂණය වෙනස්ම මඟකට යොමු වූයේ 1957 දී සෝවියට් රුසියාව විසින් ‘ස්පුට්නික් 1’ නම් කෘතිම චන්ද්‍රිකාව පෘථිවිය වටා කක්ෂ ගත කිරීමත් සමඟය. ඊට මසකට අඩු කාලයක් තුළ ලයිකා බැල්ල රැගත් යානයක්ද කක්ෂගත කිරීමට ඔවුන් සමත් වුණා. මෙසේ ක්‍රම ක්‍රමක්‍රමයෙන් මිනිසුන් අභ්‍යවකාශය වෙත ගෙනයාම, චන්ද්‍ර ගවේෂණය, ග්‍රහලෝක ගවේශණය වැනි කටයුතු සදහා රොකට් තාක්ෂණය යොදා ගැනීමට පෙළඹුණා. NASA වැනි ආයතන බිහි වුණා, අභ්‍යවකාශ මධ්‍යස්ථාන බිහිවුණා. වර්තමානය වන විට පෘථිවි ගවේෂණය, කාලගුණ විද්‍යාව, තොරතුරු සංනිවේදනය වැනි කටයුතු සදහා සදහාද රොකට් තාක්ෂණය යොදා ගැනෙනවා. කොටින්ම කිව්වොත් ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වීමේ පදනම වෙලා තියෙන්නේ රොකට් තාක්ෂණයයි.

පුංචි අහස් වෙඩිල්ලක් මිනිසුන් පිටත අභ්‍යවකාශයට රැගෙන යන රොකට්ටුවක් දක්වා වැඩි දියුණු වුණු හැටි හරිම අපූරුයි. ඔයාලට රොකට් තාක්ෂණය ඉතිහාසය ගැන පොඩි හරි අවබෝධයක් ලැබුණා කියා හිතනවා. මේ වගේ ලිපියකින් නැවත හමුවෙමු

-අවීශා ගුණසේකර-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *