සෞරග්‍රහ මණ්ඩලයේ උපත (Formation of Solar System)

සෞරග්‍රහ මණ්ඩලයේ උපත (Formation of Solar System)

සෞරග්‍රහ මණ්ඩලය සෑදීම සඳහා වඩාත් පිළිගත් ආතිය වන්නේ සූර්‍යය නිහාරිකා උපකල්පනයයි (Solar Nebula Hypothesis) මෙම ආකෘතියේදී සෞරග්‍රහ මණ්ඩලය සෑදී ඇත්තේ විශාල, භ්‍රමණය වන අන්තර් තාරකා දූවිලි (Cosmic Dust) හා වායුවලින් සෑදුනු වලාකුළකින් වන අතර එය සූර්‍යය නිහාරිකා (Solar Nebula) ලෙස හැදින්වේ. මීට වසර බිලියන ගණනකට පෙර සිදු වූ මහා පිපිරුමෙන් ටික කලකට පසුව නිර්මාණය වූ හයිඩ්‍රජන් හා හීලියම් වලින් එය සමන්විත විය

වසර බිලියන 4.5ක් පමණ වන විට අසල ඇති සුපර්නෝවා වලින් ඇති වූ කම්පන තරංග මගින් මෙම සූර්‍යය නිහාරිකාව හැකිලීමට අවශ්‍යය ආරම්භක ශක්තිය ලබා දුන් අතර නිහාරිකාව භ්‍රමණය වීමටද මෙම කම්පන තරංග ඉවහල් විය. මෙම දූවිලි වලාකුළ කම්පන තරංග ලැබෙන ශක්තිය අවශෝෂණය කරගෙන වේගවත් වීමට පටන් ගත් විට, එහි කෝණික ගම්‍යතාවය, ගුරුත්වාකර්ශණය සහ අවස්ථිතිත්වය මගින් එය භ්‍රමණ අක්ශයට ලම්භක protoplanetary තැටියක් බවට සමතලා කෙරිණි.

තවද ගුරුත්වාකර්ශනය හේතුවෙන් ඇතිවන කුඩා කැළඹීම් සහ අනෙකුත් විශාල සුන්බුන් වල කෝණික ගම්‍යතාවය නිසා කිලෝමීටර් ප්‍රමාණයේ ප්‍රොටෝප්ලැනට් (Protoplanets) සෑදීමට පටන් ගත් අතර එය නිහාරිකා වටා කක්ෂගත විය.

කෝණික ගම්‍යතාවක් නොමැති නිසා නිහාරිකාවේ කේන්ද්‍රය වේගයෙන් කඩා වැටුනි. මෙහෙදී කේන්ද්‍රය වේගයෙන් සම්පීඩනය වූ අතර එහිදී නිපදවුණු තාපය මඟින් හයිඩ්‍රජන් හීලියම් බවට න්‍යෂ්ටික විලයනය ආරම්භ වුනි. තවත් සංකෝචන කීපයකට පසුව ටී ටෝරී තාරකාව (T Tauri Star) ජ්වලනය වී සූර්‍යයා බවට පරිණාමය වුනි. මේ අතර, නිහාරිකාවේ ගුරුත්වාකර්ශණයේ පිටත කොටසහි පදාර්ථ හා දූවිලි අංශු ඝනත්වය අනුව ඝනීභවනය වූ අතර ඉතිරි වූ protoplanetary තැටිය වළලු වලට වෙන් වීමට පටන් ගත්තේය. මෙම ක්‍රියාවලිය පලායෑම (Runaway Accretion) නමින් හැඳින්වෙන අතර මෙහිදී විශාල වශයෙන් දූවිලි හා සුන්බුන් කැබලි එකට එකතු වී ග්‍රහලෝක සෑදී ඇත.

අප ජීවත්වන පෘථිවිය ඇතුලු අනෙකුත් ග්‍රහලෝකද මේ ආකාරයෙන් සෑදී ඇති අතර එය සදහා බොහෝ දුරට වසර මිලියන 10-20ක් පමණ කාලයක් ගත වන්නට ඇතිබව විශ්වාස කරයි. අළුතින් නිපද වූ ටී ටෝරී තාරකාවේ සූර්‍යය සුළඟ මගින් දැනටමත් විශාල කොටස්වලට ඝනීභවනය නොවූ protoplanetary තැටියේ ඇති ඉතිරි ද්‍රව්‍ය ඉවත්කර ඇත.

පෘථිවිය එහි මුල් අවදියේදී (ප්‍රෝටෝ-පෘථිවිය), තියා (Theia) නම් අදී ග්‍රහලෝකය සමඟ ගැටීමෙන් චන්ද්‍රයා සෑදී ඇතැයි සැලකේ.

ප්‍රෝටෝ-පෘථිවිය චලිත වෙමින් වර්ධනය වුනි. එහි අභ්‍යන්තර උෂ්ණත්වය Siderophile වැනි ලෝහ උණු කිරීමට තරම් ඉහල වුණි. සිලිකේට වලට වඩා වැඩි ඝනත්වයක් ඇති මෙම ලෝහ පෘථිවි මධ්‍යයට ගිලී ගියේය. මෙය යකඩ ව්‍යසනයක් (Iron Catastrophe) ලෙස හැදින්වුණු අතර මෙහි ප්‍රතිඵලය වූයේ ප්‍රාථමික ආවරණයක් සහ ලෝහමය හරයක් ලෙස පෘථිවිය ස්ථර බවට වෙන් වීමයි. පෘථිවිය ආරම්භ වී වසර මිලියන 10කට පසුව පෘථිවියේ ස්ථර ව්‍යුහය ඇති වූ අතර පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයද සෑදුනි.

පෘථිවියේ අභ්‍යන්තරය ක්‍රමයෙන් සිසිල් විය. (වසර බිලියනයකට සෙල්සියස් අංශක 100ක් පමණ) කාලයාගේ ඇවෑමෙන් පෘථිවිය සිසිල් වී, කබොලක් සෑදීමට හේතු වන අතර මතුපිටට දියර ජලය ලබාදුන් අතර ගිනිකඳු පිටාර ගැලීම මඟින් ප්‍රාථමික වායුගෝලයත් පසුව සාගරයත් නිර්මාණය විය. නමුත් මුල් වායුගෝලයේ ඔක්සිජන් නොමැති තරම් විය. වායුගෝලය ප්‍රධාන වශයෙන් ගිනිකඳු වලින් පිටවන හයිඩ්‍රජන් සල්ෆයිඩ්, මීතේන් සහ කාබන් ඩයොක්සයිඩ් අඩංගු විය. මෙවැනි පරිසර තත්ව යටතේදී ජීවයක් බිහිවූයේ කෙසේද? එය දෙවියන්ගේ විශ්මකර්මයක්ද? නැත්නම් පිටසක්වල ජීවීන්ගේ හපන්කමක්ද? ඇත්ත දැනගන්න නම් ජීවීන්ගේ පෘථිවි ආගමනය කියවන්නම වෙනවා.

~Himalka Rathnayake~

62 comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *