අභ්‍යවකාශ මධ්‍යස්ථාන

අභ්‍යවකාශ මධ්‍යස්ථාන

ඈත අතීතයේ සිටම මිනිසා අභ්‍යවකාශය ජය ගැනීමට නොතිත් ආශාවකින් හා කුතුහලයකින් යුක්තව සිටියහ. අද වන විට මිනිසා එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා බොහෝ දේ සිදුකර ඇත. ඒ සඳහා තැබූ ඉතා වැදගත් පියවරක් ලෙස අභ්‍යවකාශ මධ්‍යස්ථාන නිර්මාණය කිරීම සඳහන් කළ හැක. මේ ඒ පිළිබඳ විමසා බැලීමකි.

වර්ගීකරණය

අභ්‍යවකාශ මධ්‍යස්ථාන වල ඉතිහාසය දෙස බැලීමේදී අපට ඒවා නිර්මාණය කළ ආකාරය අනුව කොටස් දෙකකට බෙදා දැක්විය හැක.

1. මොනෝලිතික (Monolithic/ඒකාශ්මික)
සම්පූර්ණ අභ්‍යවකාශ මධ්‍යස්ථානයම (ඉන්ධන, ආහාර ආදියද සමග) එකවරකදී රොකට්ටුවක් ආධාරයෙන් කක්ෂගත කරන අතර බොහෝ අවස්ථා වලදී එම සැපයුම් අවසන් වනවිට මෙම මධ්‍යස්ථාන අතහැර දමනු ලැබේ. මුල් කාලීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන සියල්ලම මෙම ආකාරයේ ඒවාය.

2. මොඩියුලර් (Modular)
අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටස් ලෙස අවස්ථා කීපයකදී කක්ෂගත කරමින් එකළස් කිරීම මෙහිදී සිදු කරයි. මෙවැනි මධ්‍යස්ථාන තැනීමට වැඩි කාලයක් ගතවන නමුත් ප්‍රමාණයෙන් විශාල මධ්‍යස්ථාන මෙම ආකාරයට නිර්මාණය කළ හැක.

ඉතිහාසය

අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිළිබඳ පළමු සඳහන හමුවන්නේ 1869 දී එඩ්වඩ් හේල් විසින් රචිත “The Brick Moon” නම් කෘතියෙනි. නමුත් මේ පිළිබඳ පලමු විද්‍යාත්මක අධ්‍යනය සිදු කර ඇත්තේ රොකට් විද්‍යා පුරෝගාමීන් වන කොන්ස්ටන්ටින් සියල්කොව්ස්කි හා හර්මන් ඕබර්ත් විසින් විසි වන සියවස ආරම්භයේ දීය. දෙවන ලෝක යුධ සමයේදී “Sun Gun” නම් ආයුධයක් ලෙස භාවිතා කළ හැකි අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිළිබඳ ජර්මානු හමුදාව සැලසුම් සකසා ඇත.

ලොව පලමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන්නේ 1971 වසරේදී සෝවියට් දේශය විසින් ගුවන් ගත කළ සැල්යුට්-1 (Salyut -1) අභ්‍යවකාශ මධ්‍යස්ථානයයි. මෙය මොනෝලිතික මධ්‍යස්ථානයක් වන අතර ගගනගාමීන් භාවිතා කරන ලද්දේ දින 23 ක් තරම් කෙටි කාලයකි. “සැල්යුට්” ව්‍යාපෘතිය යටතේ සෝවියට් දේශය විසින් සැල්යුට් 01 සිට සැල්යුට් 07 දක්වා මොනෝලිතික අභ්‍යවකාශ මධ්‍යස්ථාන 7 ක් (සැල්යුට් 6 හා 7 දෙවන පරපුරට අයත් මධ්‍යස්ථාන ලෙස සැලකෙන අතර කීප වරක් මිනිසුන් රහිත ප්‍රවාහන යානා මගින් සැපයුම් ලබාදීමට හැකිවීම ඊට හේතුවයි.) ගුවන් ගත කළ අතර ඒවාට “අල්මාස්” (Almaz) නම් රහසිගත හමුදා මධ්‍යස්ථාන 3 ක් ද අයත් වුනි. මෙම ව්‍යාපෘතිය අවසන් වූයේ 1986 වසරේදී ය.

ස්කයිලැබ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය
සැල්යුට් 7 අභ්‍යවකාශ මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදය සිය මුල්ම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන “ස්කයිලැබ්” (Skylab) මධ්‍යස්ථානය 1973 වසරේදී ගුවන් ගත කරන ලදී. ඇමරිකාවට අයත්ව තිබූ එකම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන මෙය 1976 වසර තෙක් භාවිතයේ තිබූ අතර මධ්‍යස්ථානය අධික සූර්‍ය ක්‍රියාකාරිත්වය හේතුවෙන් 1979 දී නැවත වායුගෝලයට ඇතුල් වුනි.

ලොව මුල්ම මොඩියුලර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන්නේ 1986 දී සෝවියට් දේශය විසින් ගුවන් ගත කළ “මීර්” (Mir) අභ්‍යවකාශ මධ්‍යස්ථානයයි. 1986-2001 අතර කක්ෂගතව පැවති මෙය පලමු අඛණ්ඩව ජනාවාස වූ (Continuously Inhabited) අභ්‍යවකාශ මධ්‍යස්ථානයයි. සම්පූර්ණ එකළස් කිරීමේ කටයුතු සඳහා වසර 10 ක් පමණ ගතවූ අතර බොහෝ පර්යේෂණ කටයුතු සඳහා දොළොස් වසරකට වැඩි කාලයක් නිවහන වූයේ මෙම මධ්‍යස්ථානයයි.

1998 වසරේදී NASA (ඇමරිකාව), Roscosmos (රුසියාව), JAXA (ජපානය), CSA (කැනඩාව) හා යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) යන අභ්‍යවකාශ ඒජන්සි 5 ක එකතුවෙන් ඇරඹුනු අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) අද වන විට විසි වසරකට අධික කාලයක් අඛණ්ඩව ජනාවාස වී පවතින අතර රටවල් 19 කට අයත් ගගනගාමීන් 240 ක් පමණ මෙහි පැමිණ ඇත.

මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය

චීනය අභ්‍යවකාශ ගවේෂණයේ ඉදිරියෙන්ම සිටින රටක් වුවද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන ව්‍යාපෘතියට ඔවුන් සම්බන්ධ කර නොගැනීම නිසා 2011 වසරේදී ඔවුන් තම මුල්ම අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලෙස මොනෝලිතික “ටියැන්ගොන්-1” (Tiangong – 1) ගුවන් ගත කළහ. පසුව 2016 වසරේදී ටියැන්ගොන්-2 ද ගුවන් ගත කළ අතර මෙම මධ්‍යස්ථාන දෙවසරක භාවිතයෙන් පසු පාලිත තත්ව යටතේ පෘථිවි වායුගෝලයට ඇතුල් වී (Controlled Re-Entry) විනාශ වූයේ 2018 හා 2019 වසර වලදීයි.

කාර්‍යභාරය

අභ්‍යවකාශ මධ්‍යස්ථාන කක්ෂගත කළ විද්‍යාගාරයක් ලෙස හැඳින්විය හැක. මෙවැනි මධ්‍යස්ථානයක් තුල විවිධ පර්යේෂණ රාශියක් සිදුකළ හැක. මෙම පර්යේෂණ මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම කෙරෙහි මහඟු දායකත්වයක් සපයයි.

මිනිසාට අභ්‍යවකාශය යනු සුදුසු පරිසරයක් නොවේ. අන්තරීක්ෂ කිරණ, ගුරුත්වය රහිත පරිසරයක ජීවත් වීමෙන් සිදුවන අස්ථි හා මාංශ පේෂී දුර්වල වීම, ජලය/ඔක්සිජන් සැපයුම ආදියෙහි ඇතිවිය හැකි ගැටලු, මානසික පීඩනය ආදිය ඇතිවිය හැකි ගැටලු වලට උදාහරණ කීපයකි. නමුත් අපට මෙවැනි හේතූන් මත අභ්‍යවකාශ ගවේෂණයෙන් වැලකී සිටිය නොහැක. මන්දයත් පෘථිවිය විවිධ අනතුරු වලට ගොදුරු වීමේ අවධානමක් ඇති බැවිනි. එමනිසා අප මෙවැනි ගැටලු සඳහා පිලියම් සොයා ගැනීම සඳහා දිගු කළක් අභ්‍යවකාශ මධ්‍යස්ථාන වල සිට පර්යේෂණ වල නියැලීම අත්‍යාවශ්‍ය ය.

Eg: අද වන විට වැඩිම කළක් අඛණ්ඩව අභ්‍යවකාශයේ සිටි වැඩිම කාලය ලෙස වාර්තාව පවතින්නේ වැලරි පොලියාකොව් මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ 1994-1995 වසර වලදී තැබූ දින 437 ක වාර්තාවයි.

අභ්‍යවකාශ මධ්‍යස්ථාන වලදී සිදු කරනු ලබන පර්යේෂණ අතර ජීව විද්‍යාත්මක පර්යේෂණ ප්‍රමුඛස්තානයක් ගනී. ඉහත සඳහන් කළ ඒවාට අමතරව විවිධ සුව කළ නොහැකි රෝග සඳහා ඖෂධ වර්ග තැනීම, විවිධ සතුන්, ශාක හා ක්ෂුද්‍රජීවීන් මත ක්ෂුද්‍ර ගුරුත්වයේ හා බර රහිතභාවයේ (Weightlessness) බලපෑම් අධ්‍යනය කිරීම උදාහරණ ලෙස දැක්විය හැක.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පර්යේෂණ කටයුතු වල යෙදෙන ගගනගාමියෙක්

අභ්‍යවකාශ මධ්‍යස්ථාන පිළිබඳ මූලික අදහස් ඉදිරිපත් වූ සමයේ සිටම පැවති අදහසක් වූයේ මෙම මධ්‍යස්ථාන විවිධ ගවේෂණ මෙහෙයුම් සඳහා අතරමැදි මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමයි. (1960 දශකය වන තුරුත් බොහෝ විද්‍යාඥයන් සඳට මිනිසුන් යැවීම සඳහා මෙවැනි විශාල මධ්‍යස්ථානයක් පෘථිවි කක්ශයේ ඉදිකර එහි සිට සඳට මිනිසුන් සහිත යානාවක් දියත් කළ යුතුම බව විශ්වාස කළහ.) නමුත් මෙහි ඇති අවධානම හේතුවෙන් මේ සඳහා හෝ වෙනත් ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයුම් සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථාන භාවිතා කර නොමැත. (නමුත් මෙයට සමාන ආකාරයකට අභ්‍යවකාශ ෂටල යානා භාවිතා කර ඇත.) කෙසේ වුවත් අනාගතයේ ඉදිවන අභ්‍යවකාශ මධ්‍යස්ථාන මේ සඳහා භාවිතා වනු ඇත. මෙහෙයුමේ මුළු වියදම අඩු වීම මෙහිදී ලැබෙන මූලිකම වාසිය යි.

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තවත් ප්‍රයෝජනයක් ලෙස අභ්‍යවකාශ ඡායාරූපකරණය හා දුරේක්ශ භාවිතයේදී ලැබෙන වාසි දැක්විය හැක. වායුගෝලයට ඉහලින් පිහිටා ඇති බැවින් වර්ෂාව වැනි ගැටලු මගහරවා ගෙන නිරීක්ෂණ කටයුතු වල නිරතවිය හැක. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නොතිබුනද සැල්යුට්, ස්කයිලැබ් වැනි පැරණි මධ්‍යස්ථාන තුල දුරේක්ෂ ස්ථාපිත කර තිබුනි.

අවසන් ගමන

අභ්‍යවකාශ මධ්‍යස්ථානයක ආයු කාලය අවසන් වීමේදී මිනිසාට හානි නොවන ආකරයට විනාශ කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. මුල්ම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටම මෙය සිදුකිරීමට උත්සහ ගත්තද එම ප්‍රයත්න අසාර්ථක වූ අවස්ථා කීපයක්ද පවතී.

මෙහිදී ප්‍රධාන අරමුණ වන්නේ මිනිසුන්ට සිදුවිය හැකි හානිය අවම කිරීමයි. එමනිසා මධ්‍යස්ථානයේ කොටස් හැකි තරම් වායු ගෝලය තුල දහනය වන පරිදි ද, යම් හෙයකින් පෘථිවිය මතට කොටස් පතිත වුවහොත් සාගරයකට හෝ ජන ශූන්‍ය ප්‍රදේශයක් වෙත පතිත වන ආකාරයටද ගණනය කිරීම් සිදු කර, පෘථිවි වායුගෝලයට ඇතුල් කිරීම සිදු කරයි. (Controlled Re-Entry) මේ සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇති ත්වරක (Thrusters) භාවිතා කළ හැක. නිසි ලෙස ගණනය කර, උපමාරුව (De-Orbit Maneuver) සිදුකල පසු මධ්‍යස්ථානය අධික තාපය හේතුවෙන් කොටස් වලට වෙන්වෙමින් දැවී යාම සිදුවේ. සැල්යුට් මධ්‍යස්ථාන මෙලෙස සම්පූර්ණයෙන් දැවී ගිය නමුත් අනෙක් සියලු මධ්‍යස්ථාන වල කොටස් සාගර හෝ ජනගහනය අඩු ප්‍රදේශ වලට පතිත වීම සිදුවී ඇත. (එහෙත් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.)

අනාගතය

වර්තමානය වන විට පෘථිවිය වටා කක්ෂගතව පවතින අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද වන විට වසර 22 ක පමණ කාලයක් බොහෝ පර්යේෂණ සඳහා දායකත්වය සපයා ඇත. දැනට සැලසුම් කර ඇති ආකාරයට එය 2030 වසර දක්වා භාවිතයේ පවතිනු ඇත.

කෙසේ වුවත් නුදුරු අනාගතයේදී නවතම අභ්‍යවකාශ මධ්‍යස්ථාන ගණනාවක් ඉදිකිරීමට ලොව පුරා රටවල් කීපයකම සැලසුම් සකසා ඇත. මින් ප්‍රධාන ස්ථානයක් ගන්නේ චීනය විසින් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන මොඩියුලර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ හවුල්කාර රටවල් එක් වී ආර්ටෙමිස් (Artemis) චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතිය සමග ඉදිකරනු ලබන චන්ද්‍රයා වටා කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන “Lunar Gateway” මධ්‍යස්ථානයයි. චීන මොඩියුලර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2021-22 අතරත්, “Lunar Gateway” මධ්‍යස්ථානය 2022-24 අතරත් ඉදි කිරීමට සැලසුම් කර ඇත.

NASA Deputy Administrator Lori Garver is given a tour of the Bigelow Aerospace facilities by the company’s President Robert Bigelow on Friday, Feb. 4, 2011, in Las Vegas. NASA has been discussing potential partnership opportunities with Bigelow for its inflatable habitat technologies as part of NASA’s goal to develop innovative technologies to ensure that the U.S. remains competitive in future space endeavors. Photo Credit: (NASA/Bill Ingalls)


අභ්‍යවකාශ ගවේෂණය නව මානයකට යොමු කරමින් ඇමරිකානු පුද්ගලික සමාගමක් වන Bigelow Aerospace සමාගම වාණිජ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නුදුරු අනාගතයේදීම කක්ෂගත කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවේ. “Space Complex Alpha” ලෙස හඳුන්වන මෙය එකවර 12 කට නවාතැන් පහසුකම් සහිත අභ්‍යවකාශ හෝටලයක් වනු ඇත. මෙයට අමතරව අපගේ අසල්වැසි ඉන්දියාව 2030 දශකයේදී පෘථිවිය වටා කක්ෂගත කුඩා අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් සිටී.

කුමන රටක් විසින් මෙම මධ්‍යස්ථාන ඉදි කරනු ලැබුවද මේ සෑම මධ්‍යස්ථානයකම මූලික අරමුණ වන්නේ මිනිස් වර්ගයාගේ දියුණුව හා පැවැත්ම යි. මෙම අනාගත මධ්‍යස්ථාන එම අරමුණ සාක්ශාත් කරගැනීම සඳහා මහඟු දායකත්වයක් සපයනු නොඅනුමාන ය.

~ Senan Kannangara ~

1 Comment found

Leave a Reply

Your email address will not be published. Required fields are marked *